Wednesday, 15 September 2021

මතුරට පත්තිනි දේවාලයේ ඉතිහාසය

 මතුරට අත්තනකුඹුර පත්තිනි දේවාලයේ ඉතිහාසය මන්දාරම් පුවතේ සඳහන් වන්නේ මෙසේය.


 පැරකුම්බා ii (ක්‍රි:ව 1251) රජුගේ කාලයෙහි පත්තිනි සළඹ රැගෙන සොළීරටින් පැමිණි කපුවෝ මෙගොඩතිසෙහි පඬුරු ලබාගෙන ඌවට යනු පිණිස අත්තනගොල්ල නම් තැන නවාතැන් ගත්හ. ගමනට පිටත් වූ ඔවුහු, සළඹ තිබූ තැන නයින් අරග්ගත් හෙයින් සළඹ එතැනින් ගත නොහැකිව කීප දවසක් සිට සියරටට පෙරළා ගියහ. දෙරට වැසියෝ පැරකුම්බා රජුගේ උපකාරය ද ලැබ එතැන පත්තිනි දෙවොල ගොඩනගා ඌවපෙදෙසින් කපුවන් ගෙන්වා එහි තේව ආදිය පැවැත්වුහ. රජ්ජුරුවෝ ද අත්තනකුඹුර මුංවත්ත දෙගමින් කුඹුරු පුදා එහි පෙරහර තේව කිරීමට විධාන කළහ. 

අතන කුඹුරේ බවට පවසා සළඹ තිබු ස්ථානය රජුට පෙන්නු ස්ථානය එදා සිට අත්තනකුඹු බවට නම් විය.





Thursday, 22 July 2021

මතුරට නිර්මාණය වීමේ ඉතිහාසය

 මන්දාරම් පුර පෙදෙස විනාශ කළ ශිව භක්තික ගිරි තවුසා ඇතුළු පිරිස පරාජය කළ දිවාරත්න, වීරසූරිය සහ හළුවඩන නිලමේ යන අයට නුඹලා #රට_මතු_ආරක්ෂා කරව් පවසමින් ගම්-බිම්, සන්නස් හා රාජකාරි ද පිරිනමමින් පළමුවන විමලධර්මසූරිය රජතුමා “රාවණා කොඩිය” ද ඔවුන්ට පිරිනැමු බවත් එසේ පැවසු ස්ථානය #මතුරට නමින් ප්‍රසිද්ධියට පත්වු බව මන්දාරම්පුර පුවතේ අනාවරණය කරයි.


#ඓතිහාසික ග්‍රන්ථයක් ලෙස ප්‍රකට අතිපූජ්‍ය ලබුගම ලංකානන්ද මාහිමිපාණන් වහන්සේ සංස්කරණය කළ “මන්දාරම් පුර පුවත” පොතේ සඳහන් කර ඇති පරිදි ඉතිහාසය මෙසේය..
ටිකිරිබණ්ඩාර රාජසිංහ i (ක්‍රි:ව: 1581- 1592)
මායාදුනු රජුට ටිකිරිබණ්ඩාර නම් පුතෙක් උපන. තෙදින් යගසින් හා බලයෙන් යුත් හෙතෙම රාජධර්මය හා යුධ ශිල්ප ඉගෙන සතුරන් මඩිමින් රටවැසියන් ‍ ‍ගේ සිත් ගෙන වාසය කරමින් රජකමට කළ ලෝභයෙන් සියතින් පියරජු මැරීය. පියා සතු වස්තුවද රාජ්ය්යට අයත් සියල්ල ද බලයෙන් අත්පත් කොටගත් හෙතෙම රාජසිංහ යන නමින් ලක්දිව රජ බවට පත් විය. යළි ඉසුරුමත් වු හෙතෙම පියා නැසු පුවත සිහිපත්ව 
නිරාදුකින් බියපත් වූයේන් මහසඟුන් ගෙන්වා සිවුපසයෙන් පුදා වැඳ “පියා නැසූ අකුසල් දුරු කොට මතු සැප ලැබීමට සුදුසු පින්කම් වදාළ මැනැවැ”යි දැන්විය. එ බස් ඇසූ භික්ෂූහු “මහරජ , පියා නැසු පවින් මිදීමෙක් නැත, එහෙත් පින්දම් කළ මැනැවැ, දෙවැනි අත්බැවින් මතුයෙහි ඒ පින් පල දේ යැ” යි කිහ
එයින් නො සතුටු වූ රජ වෙනත් මාර්ග සෙවීය. එකල ශිවභතික පූජකයෙක් ඹහුට මෙසේ දැන්වීය. “ නරනිඳුනි, නොබියවනු මැන, සිවදෙවියන් යැදීම  හා යාග හෝම ද ඊට පිළිවෙතය. පව්දුක් නසා සැප ලැබීමට සිව දෙවියන් පුදනු මැනවැ” යි කීය. එයින් සතුටු වු රජ මෙවැනි දේනො දැන කුමන මහණ කිමෙක්දැ,යි භික්ෂූන් බණපොත් හා විහාර නසමින් නළලෙහි අලුගා මිසදිටු විය. එකල ලක්වැසියන් මිසදිටු අත් හරින ලෙස රජුට අයැද සිටි නමුදු රජු එය නොපිළිගන්නා බව දැන ඔවුහු ලංකා රාජ්ය සඳහා රහසින් අන් කුමරකු යෙදුහ. එබව දැනගත් රජ සොළී ආදී රටවලින් ශිවපූජකයන් ගෙන්වා එයින් සත්දෙනෙකුට බලය පවරා ලක්දිව ඒ ඒ තැන නැවැත්වීය. ඔවුන අතුරෙන් බල සම්පන්න වූ #ගිරි  නම් තවුසා #මන්දාරම්පුරයට පැමිණියේය.
රාජසිහ රජු ගේ අණ ලැබු ගිරි තවුසා 6000ක් බලසෙන් සමග පැමිණ #මන්දාරම්පුරය අත්පත් කොට යළි #උඩහේවාහැට ගම් සතිසක් ද #අත්තනකුඹුර #මුංවත්ත හා #ඌව #වලපනය යන රටවල් ද පැහැරගත්තේය. හෙතෙම බුදුසසුන නසා මිනිසුන් මිසදිටු ගැන්වීය, ශිවසමය නොඋගතුවන් #ගිරියේ_වැලි ලවා මැරවීය. (මෙම ස්ථාන අද වැල්ලගිරිය නම් ගම්මානය වේ) සඟුන් නසා බුදුපිළිම බිඳ දැමීය. පොත් ගිනි ලවා අගනා විසිතුරු දේ නැසීය. වැසියන් පෙළා ඔවුන්ගේ වස්තුව පැහැරගත්තේය. 
එකල උඩු- යටි දෙනුවර, දුම්බර , ගම්පල, තුම්පනය, සාරසියපත්තුව, හේවාහැට, වලපනය, කොත්මලය, ඌව, මාතලය, සිවු- සත් කෝරළ, වන්නිය, අනුරපුර, ආදී රටවල උසස් තනතුරු දරන ජනයෝ ගම්පලට රැස්ව රජසිහ රකුසා පලවා හැර ලක්දිව රජය සුන්දර බණ්ඩාරට දෙන්නට යෙදුහ. එබව දත් රජසිහරජ සුන්දරබණ්ඩාර මරවාපීය. එකල රටවැසිවයෝ ඔහුගේ ළදරු පුත්‍රයා (කොනප්පුබණ්ඩාර) #සඟුරන්කෙත සඟවාගෙන වැඩූහ.
ඒ බව රජුට සැලව ගියෙන් #සඟුරන්කෙත වටලා “කොනප්පුබණ්ඩාර නුදුන හොත් මෙනුවර වනසන්නෙය” යි තර්ජ න කෙළේය. හේවාහැට වැසියෝ එබඳු වූ ම දුබල කුමරකු පාවා දී රජු රැවටූහ. එවිට රජ එකුමරු සිරකර සැටඈදුතු ඔංඩුවක් (181) සඟුන් මරවා විහාර ගිනිලා පාලු කර කුමරු හික්මවීමේ වරදට පලි ගත්තේය.
මෙසේ රජසිහ රජු රැවැටී ගිය කල්හි කොළඹ පෘතිකාල් ආණ්ඩුකාරයා වෙත පඬුරුත් සමග “ කොනපුපුබණ්ඩාර බාර කොට හැරියෝ ය. එහි කුමරු වැඩුණු කල්හි කොනප්පුබණ්ඩාර උඩරට රජු කොට මුහුදුකරය පෘතිකාලුන්ට පවරා මතු වියවුල් නොවන ලෙසද, පෘතිකාලුන් ලක්දිව රකින ලෙසද” ගිවිසුමක් කරගත්හ. එහෙත් වංචා සිත් ඇති පෘතිකාල් ආණ්ඩුකාරයා ලක්වැසියන් බිඳුවීමට කරුණු යොදා, රාජසිංහට බියෙන් පලාගොස් කතෝලික ආගම වැළඳගෙන සිටි දොන් පිලිප් නම් කුමරකු සමග කොනප්පුබණ්ඩාර සෙංකඩගලට යවා, පිලිප් කුමරුට රජකම ද කොනප්පුබණ්ඩාරට සෙ‍නවිදුරයද දෙවීය එයින් නො සතුටු වූ කුමාරා සිහලුන් සමග කථා කොට, පිලිප් කුමරුනසා පෘතිකාල් සේනාව ද පලවාහැර සෙංකඩගල නුවර සරසා විමලධර්ම‍සූර්ය යන නමින් රජබවට ‍පත් විය.
සීතාවක රාජසිංහ රජ එපවත් අසා, පුරුදු අභිමානය උපදවා, නොයෙක් බලසෙන් ගෙන සෙංකඩගල නුවර බලා පිටත් විය. විමලදහම් රජ ද සිහලසෙන් පිරිවරා ගෙන ඉදිරියට ගියේ, බ‍ලන සමීපයෙහිදි රාජසිංහ ගේ සේනාව දැක වටලා යුද කරන්නට  විය. එකල රාජසිංහ රජ “අහංකාරයෙන් ලැබුණු තනතුර අතහැර රජකමට ලෝභ කොට නුඹ ගේ පියාට වූ  දෙය සිහි කර බලනු” යයි විමලධර්ම සූර්ය රජ “ ම පිය සුන්දරබණ්ඩාරට කළ දැයෙහි පලිය ගෙන මිස මෙවර නො නවත්මි” පෙරළා පණිවුඩ හැර, සුදු අසකු පිට නැගී බොහෝ සතුරුසෙන් මරවා රජසිහ රජු ද පලවා හැර ලක්දිව දිනාගත්තේය. 
රජසිහ රජු දිරි උපදවා යුද කළ නමුත් සටන් බිම බොහෝ ඇමැතියන් හා සෙනඟ ද මරුමුවට පැමිණියේය. එකල හෙතෙම පුරුදු අසුපිට නැගී මඩවගුරු මැදින් පලා                                                ගියේය. සෙනඟ ද ඒ ඒ අත පලා ගියේය. අසු පිටින් වැටුණු රජුගේ පයෙහි මිරිවැඩිය ද සිල් කරගෙන උණ කටුවක් ඇණින එයින් කරුම බලය ‍හේතුකොට නයි විෂ මෙන් වේදනා උපන. රාජසිංහ රජ “ සියතින් කඩුපහර දී පියරජු මැරීය, මිසදිටු ගෙන බොහෝ සිල්වත් සගුන් දරුණු වද දී මැරීය, විහාර වනසා සඟසතු ගම්බිම් අන්සතු කෙළේය, බණපොත් කඳු මෙන් ගොඩ ගසා ගිනි දී සසුන නැසීය, ලක්දිව ගරු කටයුතු බොහෝ උතුම් ජනයන්” මේ ආදී කරුණු සිතමින් වරින් වර සුසුම් ලා හඬන්නට විය. සියතින් ගල් පෙරළා අවසානයෙහි බුදුන් සරණ ගිය දෙව්දත් තෙර මෙන් රජසිහ රජ ද තෙරුවන් ගුණ සිහි කොට සඟුන් ගෙන්වා පිරිකර පුද කරවා මිසදිටු හැරපීය. හේ ලක්දිව රජ ඉසුරු සමග මිනිස්කය ද හැරපියා මරු වසඟයට ගියේය.
විමලධර්ම සූර්ය රජ ක්‍රි: ව: 1592 - 1604 
ඉක්බිති බුදුවසින් 2135 වැන්නෙහි සිංහල රාජවංශයෙහි ජයකොඩියක් බඳු විමලධර්මසූර්ය රජ ලක් අහසෙහි දිනකර ලෙසින් උදා විය. හෙතෙම රජ්යයට පැමිණ රාජසිංහ රජු විසින් නැසූ ශාසනය දියුණු කිරීමට පටන් ‍ගත. පළමු කොටම නැවැතී තුබූ උපසම්පදාව කරවිය. ලක්වැසියන් ගේ බිය සන්හිඳුවා, නටබුන් වූ මහබෝ විහාර පොත්ගුල් ආදිය දියුණු කරවීය. බොහෝ දහම් පොත්පත් ද ලියැවීය. දේවාල පුද හා දළදා පුද පෙරසෙයින්ම සැලැසිය. සමනොළ ආදී සිවු තවුසන් අත්කරගෙන තුබු තැන් සඟනට ගෙන දුන්නේය. එකල ලක් වැසියෝ යට කී සිව කඳවුරුවලට වදිමින් නිතර නොයෙක් කඳවුරුවලට වදිමින් නිතර නොයෙක් කලබල කරන්නට වූහ. සිවයෝ ද සොළී රටින් දෙමළ බලසේනා ගෙන්වාලුහ.
 විමලදහම්සූරිය රජ එපවත් අසා සිහල රට හැර යන ලෙස ඔවුන්ට අණ කළේය. එ සඳ (ගිරි නම් ) සිවුතවුසා පරදෙසින්  බලය ලැබී සිහලුන් ද සමගි කරවා ගෙන ශිවපූජා දෙගුණ කොට කරමින් රජ අණ නොතකා වාසය කළේය. 
ශිවයන් එකළ සමනොළ - සීගිරි - දියතලාපව්- ගින්තොට- ගල්මඩු-මන්දාරම්පුර සහ මුතුගම යන සත්තැන්හි බලසෙන් සමග කඳවුරු බැඳ විසූහ. රජ මේ කඳවුරු සතටම එක් විට පහර දීමට සුදුසු බලසෙන් සහිත ඇමැතියන්ට විධාන කෙළේය. එක් එක් කඳවුරට ඇමැතියන් තිදෙනෙකු බැගින් සේනා සහිත ඇමැතියන් විසිඑක් දෙනකුත් යැවීය. එයින් .ගිරි නම් ප්‍රධාන තවුසා වාසය කළ මන්දාරම් පුරයෙහි සතළොස්දහසක් (17000) පමණ දෙමළ සෙනඟ විය. ඔහු ඇල්ලීම සඳහා සත්කෝරලය යටිනුවර දුම්බර යන රටවල දිසාපතිවරුන් වූ #වීරසුරිය, #දිවාරත්න, #හළුවඩන යන මැතිවරුන් ද මඩුවඹ, අරාවේ, ආදී සෙනෙවියන් දොළොස් දෙනෙකුන් ද සමග රණශූර වූ පසළොස් දහසක් (15000) බල සෙනඟ හා රැස් කෙළේය. සෙංකඩගල නුවරට රැස් වු සෙනඟ හා සෙනෙවියන් අමතා විමලදහම්සුරිය රජ “ රට දැය සසුන හා සුසිරිත ද නැසූ දුදන තවුසා ගනිවු අප ද බලසෙන් සමග පැමිණෙනු ඇතැ”යි විධාන කෙළේය. යළි මාවේ, පුස්සල බජ්ජල, යන මැතිවරු තිදෙන ද හේවාහැටින් නව දහසක් බලසෙන් සමග අවුත් ඒ සෙනඟට එක් වූහ. මෙසේ සූවිසිදහසක් ( 24000) සෙනඟ බෙලිහුල්ඹය සමීපයට ගියේය.
ඉක්බිති කඩු දුනු පලිහ ලා සතනාභසනන්ඞ වු සෙනඟ මන්දාරම් පුරය වට කොට බෙලිහුල සෙකතර කඳුමුදුන්හි සිට රණබෙර නාද කරවා වෙඩි සැර යැවීය. ගිරි තවුසා ද සනනාභ ලාගෙන සිවසෙනඟ හා සිඑල සෙනඟ ද පිරිවරා යුද වැදුණේය. එඩිතර වූ සිංහල සේනාව හාත්පසින් මංමාවත් අවුරා සතුරාට ළං වී ඊ සැර යවමින් ඔවුන් වනසන්නට විය. රජතුමා ද සුදු අසකු පිට නැගී ඇමැතියන් පිරිවරා සපුවින්න බැලුම්ගොඩ නම් තැන යුද කෙළි බලමින් සිටියේය. සිවබල කොටු අටලු බිඳ අලංකාර වූ මන්දාරම් පුරය ගිනිලා සමතලා කළේය. බොහෝ සිව සෙනඟ නසා ගිරි තවුසා ජීවග්‍රහයෙන් ගත්තේය. සැඟවී සිටි සෙනඟ ද අල්වා ඔවුන් හැඳි වතින් ම පිටි අත් හයා බැඳ රජු සමීපයට පැමිණවී ය. රජ තෙමේ ගිරි තවුසා සමග සතුරු සෙනඟ #ගිරියේ_වැලි බොරළු ලා නැසූහ.
රජතුමා මන්දාරම්පුර කඳවුරෙහි ම සිට සෙනෙවියන්ට හා බලසෙනඟට ජයපඞුරු පිණිස ගම්බිම් සන්නස් හා රාජකාරී ද දෙවීය. දිවාරත්න වීරසූරිය යන ඇමැතියන්ට හා හළුවඩන නිලමේට ද “තෙපි #රට_මතු රකිවු” යයි කියා ගිරිතවුසා අයත් කරගෙ‍න තුබූ මන්දාරම්පුර ප්රපදේශය පැවැරී ය එතැන් සිට එදෙස #මතුරට නමින් ම ප්‍රසිද්ධ විය. ඒ මැතිවරුන් තිදෙනට රාවණකොඩිය, තොප්පිය හා රන්සළු ද හේවාවසමේ වාසලදුරය හා හළුවඩන නිලය ද දුන්නේ ය. උඩුවල යටිවල යන ඇමැතියන්ට මතුරට දෙකෝරළනිළය ද හීන්කෙන් ද පුස්සල දෙදෙනාට වාසලආරච්චි තනතුර ද, මඩුවේ අරාවේවලහේන තිදෙනාට ආදායම්ලේකන අතපත්තුවද, දරහඞකුඹුර බජුජල දොදනාට දුග්ගන්නා වාසලතනතුර ද , ගුණමා වලඹුවා යන හීවඩුන් දෙදෙනාට මහරාබද්ද හා කොටිකාබද්ද , ඩිංගා පැටා පිංචා යන තිදෙනාට හේවාඅතවරෙහි පණිවුඩපනත ද , දුන්නේ ය. යළි රණබෙර රැඟුම් කළ නැකැති ජනයාට පොරගල නම් ගමදී , අත්තනකුඹුර මුංවත්ත ගම් දෙක පෙර ලෙසම දේව මෙහෙයට පැවැරී ය. මෙසේ විමලදහම්සූරිය රජ වැසියන් සතුටු කරවා බලසෙන් පිරවරා මහත් පෙරහරින් සෙංකඩපුරයට පිවිසියේ ය.

අන්තර් ජාලය ඇසුරිනි උපුටා ගන්නා ලදී

මතුරට ගැන වැඩි විස්තර දැන ගන්න

මෙතනින් බලන්න

 

Thursday, 15 July 2021

මතුරට ප්‍රදේශයේ වැදගත්කම

 "මතුරට" කියන්නෙ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත ප්‍රාදෙශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි කඳුවලින් වටවු සාරවත් භූමියකින් යුතු ඓතිහාසික අතින් ඉතා වැදගත් ඉතිහාසයකට උරුමකම් කියන පාරිසරික අතින් ඉතා සුවිශේෂී වු ප්‍රදේශයකි.